සෞදි අරාබිය මුහුණ පාන ප්‍රධාන අභියෝගයක් වන්නේ ගෘහ සේවකයින් සඳහා ඇති වේගයෙන් ඉහළ යන ඉල්ලුමයි. මෙම තත්ත්වය දිනෙන් දින වැඩි වශයෙන් විදේශිකයන් රැකියා සඳහා බඳවා ගැනීම හා සම්බන්ධ ක්‍රියාවලියකි. සෞදි අරාබි ආර්ථික විද්‍යාඥයින්ට අනුව වසරකට මිලියන 1.2ක් පමණ සංක්‍රමණික ශ්‍රමික පිරිසක් එරටට පැමිණෙන අතර, මිලියන 1කට වැඩි සෞදි අරාබි ජාතිකයන් විරැකියාවේ සිටින බවද පෙන්නුම් කෙරේ. පෞද්ගලික අංශයේ රැකියාවල 15%ක පමණ ප්‍රතිශතයක් එරට පුරවැසියන් හොබවන අතර, මෙම තත්ත්වය මඟ හැරීම පිණිස ජේ්‍යෂ්ඨ විශේෂඥයින් සහ ආර්ථික විද්‍යාඥයින් නව සැළසුම් හා ක්‍රමවේද සෞදි අරාබි රජය වෙත ඉදිරිපත් කර ඇත. මෙම තත්ත්වයට පාදක වී ඇත්තේ සංක්‍රමණික ශ්‍රමිකයින් වඩා අඩු වේතන වලට හා වැඩිපුර කාලයක් වැඩ කිරීමට දක්වන නැඹුරුවයි. සෞදි ජාතිකයන් හා සැසඳීමේදී ඔවුන්ගෙන් එවැනි නැඹුරුතාවයක් දිස් නොවන අතර තමන් හට වාසිදායක තත්ත්වයක් උදාකර ගැනීම පිණිස පෞද්ගලික අංශයේ ආයතන සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා රැකියාවන් උදාකර දීමට ප්‍රමුඛතාවයක් දක්වති. 

 

තවත් ගැටළුවක් ලෙස සැළකෙන ඌණ කුසලතා සහිත ශ්‍රමිකයින් (පකිස්ථානය, බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවලින් පැමිණෙන) බොහෝ සෙයින් අවධානම් තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවීම දැක්විය හැක. ඉදිකිරීම් හා ගොඩනැගිලි ක්‍ෂේත්‍රය, කෘෂි කර්මය, සේවා ක්‍ෂේත්‍රය හා ගෘහ සේවක ක්‍ෂේත්‍රයන්හි රැකියාවන්හි යොමුවන ඌන කුසලතා සහිත පිරිස් බොහෝ සෙයින් පෞද්ගලික රැකියා ඒජන්සි ආයතනයන්හි පිහිට පතන්නෝ වෙති. රටතුළ රැකියාවකට පිවිසීමේදී එක් ශ්‍රමිකයෙකුට ඇමරිකන් ඩොලර් 3500ක් පමණ මුදලක් දැරීමට සිදුවේ. මෙයින් ඇමරිකන් ඩොලර් 2300ක් පමණ වීසා බලපත්‍ර ගාස්තු ලෙසද ඇමරිකන් ඩොලර් 350ක් අන්තර්ජාතික ගමනා ගමනය සඳහා ද ඇමරිකානු ඩොලර් 245ක් පමණ මුදල් ඒජන්තවරුන් සඳහා වියදම් කරන්නට සිදු වන බව පෙන්නුම් කෙරේ. මෙම මුළු මුදල එම ශ්‍රමිකයාගේ මාස කිහිපයක වේතනවල එකතුව හා සමවේ. සෞදි කම්කරු නීති අනුව ශ්‍රමිකයන්ගෙන් ගාස්තු අය කර ගැනීම තහනම් වන නමුත් මෙම නීතිය ඒජන්තවරු ශ්‍රමිකයන්ට පහදා දෙන්නේ වෙනත් ආකාරයෙනි. ඒ කෙසේද කිවහොත් ඔවුන් පැහැදිලි කරන්නේ සෞදි රජය සේවක වේතනයෙන් මුදල් කපා ගැනීම තහනම් කර ඇති බවත් එම හේතුවෙන් ශ්‍රමිකයන් සෞදි අරාබියාවට පිටත්ව යෑමට පෙර මෙම මුදල් ඒජන්තවරුන් වෙත ලබා දිය යුතු බවත්ය. එමනිසා මෙම ශ්‍රමිකයන්හට මව් රටේ දීම සියලු වියදම් දැරීමට සිදුවේ. 

 

ඌණ කුසලතා වලින් යුත් ශ්‍රමිකයන් අතරින් වඩා අවදානමකට මුහුණ පෑමට සිදුවන්නේ කාන්තා පක්ෂයටයි. බොහෝ සෙයින් ගෘහ සේවිකාවන් ලෙසින් සෞදි අරාබියට පැමිණෙන්නේ ඉන්දුනීසියාව, බංගලදේශය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පිලිපීනය, ඉතියෝපියාව හා නේපාලය යන රටවලිනි. මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයකදී හෙළිදරව් වී ඇති කරුණක් වනුයේ සෞදි අරාබිය තුළ සේවය කරන බංගලිදේශ ගෘහ සේවිකාවන්ගේ සේවා වාතාවරණය බොහෝ සෙයින්ම නූතන වහල් භාවයක් පිළිඹිබු කරන බවයි. මොවුන් හට බොහෝ කල්ගත කොට ලැබෙන වේතනය හා මොවුන්ගේ ගමන් බලපත්‍ර බලයෙන් සතු කර ගැනීම් වාර්තා වී ඇත. 

 

ගෘහ සේවකයන් සඳහා ඇති සීඝ්‍රයෙන් ඉහළ යන ඉල්ලුමත්, වැඩිමනත් විදේශික සංක්‍රමිකයන්ගේ පැමිණීමත් ඒ තුළින් මතුවන අභියෝග වන ඉහළ නගින සේවා නියුක්ති ගාස්තු සහ ශ්‍රමිකයන් හට සිදුවන අඩම්තේට්ටම් නම් කර ඇත. කම්කරු අමාත්‍යාංශය මෑතක සිට විදේශික බලපත්‍ර අධිකාරියක් තුළින් ගෘහ සේවකයින්ගේ කටයුතු අධීක්ෂණය කරයි. මෙම අමාත්‍යාංශය ශ්‍රමික වෙළඳපොලේ තරඟකාරිත්වය වැඩිකොට එමගින් ගාස්තු පහළට ගෙන ඒමත් බලාපොරොත්තු වේ. එලෙසම මෑතකදී පිහිටුවනු ලැබූ ඉලෙක්ට්‍රොනික වෙබ් අඩවියක් තුළින් වඩා පැහැදිලි ලෙස අත්‍යාවශ්‍ය කරුණු ශ්‍රමිකයන් හට සපයා දෙනු ලැබේ. උදාහරණයක් ලෙස රැකියා ස්ථානයේ වාතාවරණය, පහසුකම්, සෞඛ්‍ය සහ තම ආරක්ෂාව පිළිබඳ සැළකිය යුතු කරුණුද රැකියා කොන්ත්‍රාත්තුවේ කොන්දේසි ලියකියවිලි ශ්‍රමිකයාට තේරුම් ගත හැකි භාෂාවකින් නිකුත් කළ බවටත් අවධාරණය කරයි. 

 

ILO සංවිධානයේ නිර්දේශය පරිදි සෞදි අරාබිය, තම රටවල පවතින සේවකයින් බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය වඩා ක්‍රමවත්ව හා විධිමත්ව ක්‍රියා කළ යුතු රටවල් කණ්ඩායමට අයත් වේ. මෙම බඳවා ගැනීමේ ක්‍රමවේද වඩා ලිහිල් කොට අතරමැදි ක්‍රියාදාමයන් දුරු කිරීමත් එමඟින් අනවශ්‍ය වියදම් කපා හැරීමට කටයුතු කරන ලෙසත් ILO සංවිධානය සෞදි අරාබිය ඇතුළු මෙම රටවලට නිර්දේශ කොට ඇත. 

 

සෞදි අරාබිය රාජ්‍යය තුළ සේවක අයිතීන් හට ඇති පිළිගැනීම ගැන වැඩි විස්තර ITUC ලෝක අයිතිවාසිකම් දර්ශකය වෙත මෙතනින් පිවිසෙන්න.